ශ්‍රී ලංකාව තුළ දිනකට 'සිලිසිලි මලු' ලක්ෂ 150 ක් හා 'ලන්ච් ෂීට්' ලක්ෂ 200 ක් පරිසරයට මුදාහැරේ


150 lacks polithine bags and 200 lunch sheets released daily to the environment in sri lanka

අපද්‍රව්‍ය කළමනාකරණය කිරීමේ දී දැඩි ගැටලු ඇති කරන තුනී පොලිතින් (ලන්ච් ෂීට්සහ සිලිසිලි මලු) භාවිතය සැප්තැම්බර් 01 වෙනිදා සිට තහනම් කිරීමට රජය තීරණය කිරීමත් සමග සමාජයේ ඒ පිළිබඳ දැඩි සංවාදයක් මතුව තිබේ.


පරිසරය ආරක්ෂා කිරීමේ පියවරක් ලෙස සහ ශ්‍රී ලංකාව දැනට මුහුණ දී සිටින අපද්‍රව්‍ය කළමනාකරණ ගැටලුවට පිළිතුරක් ලෙස බොහෝ දෙනෙක් එම තීන්දුව අගය කරති.
දිනකට 'සිලිසිලි මලු' ලක්ෂ 150 ක් හා 'ලන්ච් ෂීට්' ලක්ෂ 200 ක් පමණ ශ්‍රී ලාංකිකයන් පරිසරයට මුදා හරින බවට ගණන් බලා ඇතැයි මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.
ශ්‍රී ලංකාව තුළ එක් රැස්වන කැළිකසලවලින් 10% - 15% අතර ප්‍රමාණයක් ඉහත කී පොලිතින් අපද්‍රව්‍ය බව එම අධිකාරිය පෙන්වා දෙයි.
ඒ අනුව සකසන ලද හා පිසූ ආහාර විකිණීමේ දී ඇසුරුම් සඳහා පොලිතින් භාවිත කිරීම සැප්තැම්බර් මස සිට තහනම් වේ. එම තහනමත් සමග එදිනෙදා භාවිත කෙරෙන ලන්ච් ෂීට් හා සිලිසිලි බැග්වලට ඇති විකල්ප පිළිබඳ ජනතා අවධානය යොමුව තිබේ.
තහනම හේතුවෙන් තමන්ට බරපතළ ගැටලුවකට මුහුණ දීමට සිදුවනු ඇති බව ආපනශාලා හිමියෝ සහ වෙළෙඳසල් හිමියෝ පවසති.
"තහනමට අපි විරුද්ධ නැහැ. නමුත් හරි විකල්ප හඳුන්වලා දීලා මේ දේ කරන්න ඕනේ" ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් කියා සිටියේය.
" කොළඹ මේ තියෙන ඉදිකිරීම් ස්ථානවලට විතරක් දවසකට පොලිතින් බෑග්වල දාල ප්ලේන්ටි ලක්ෂයක් විතර දෙනවා" යනුවෙන් කී ඔහු ඉදිකිරීම් සේවකයන්ට සේවා සැපයීමේ දී එය ගැට‍ලුවක් වනු ඇති බව සඳහන් කළේය.
"අනික ඔය හඳුන්වල දෙන විකල්ප බෑග් ගණන් වැඩියි. අපිට දැන් පොලිතින් බැග් 100 ක් විතර ගන්න වැයවෙන්නේ රුපියල් 150 ක් විතර, ඒ ගානට දෙන්න බැරිනම් ආණ්ඩුව ඒ වැඩි වන මිල ගෙවන්න ඕනේ "
ලන්ච් ෂිට් භාවිත නොකර පිඟන්වලට ආහාර බෙදීමෙන් ඒවා සේදීමට වැඩිපුර මුදලක් වැය වන බවත් ඔහු පැවසීය.නුගේගොඩ නගරයේ සංචාරයක දී බොහෝ පදික වෙළෙන්දන් කියා සිටියේ නිසි විකල්පයක් හඳුන්වාදෙන්නේ නම් අදාළ තහනමට තමන් විරුද්ධ නොවන බවය.
"හාල් කිලෝ එකක් ගත්තත් බෑග් දෙකක් ඉල්ලනවා. දුන්නේ නැත්නම් අපිත් එක්ක තරහා වෙනවා" යනුවෙන් සහල් වෙළෙඳසල් හිමියකු සඳහන් කළේ පරිසර හිතකාමී විකල්පයකට යා යුතු අතරේ පාරිභෝගිකයන්ගේ ආකල්ප ද වෙනස් විය යුතු බව පෙන්වා දෙමිනි.
"අනේ මන්දා මොනවා කරන්නද කියලා, මම කොස් වෙළඳාම කරන්නේ, කොලේක ඔතලා දෙන්නත් බැහැ තෙත නිසා" කොස් කපා විකුණන කාන්තාවක් එසේ කියා සිටියේ පොලිතින් තහනම හමුවේ තමන්ට මුහුණ දීමට සිදුවන ගැටලු පිළිබඳ අදහස් දක්වමිනි.
විශේෂඥ විද්වත් කමිටුවක් හරහා කලක සිට සාකච්ඡා කර ගන්නා ලද තීරණයක් අනුව අදාළ තහනම ක්‍රියාත්මක කිරීමට පියවර ගත් බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.
එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ජේ.එම්.යු ඉන්ද්‍රරත්න බීබීසී සිංහල සේවයට කියා සිටියේ පොලිතින් තහනමට සූදානම් වීම සඳහා ජනතාවට හා වෙළෙන්දන්ට සැළකිය යුතු කාලයක් ඇති බවය.
"ජෛව හායනයට ලක්වන ලන්ච්ෂීට් හා මලු අපි ජනතාවට හඳුන්වා දෙනවා. අපි නිෂ්පාදකයන් ඒ සඳහා යොමු කරමින් ඉන්නේ. ඊට අවශ්‍ය බදු සහන පවා ලබා දීමටත් යෝජනාවල කරුණු අඩංගු වෙනවා"
පොලිතින් වෙනුවට හඳුන්වා දීමට නියමිත විකල්ප නිෂ්පාදනවල මිල යම් ප්‍රමාණයකට වැඩි වුවත් ඒවායේ නිෂ්පාදනය ක්‍රමයෙන් වැඩි වෙත්ම මිල ගණන් ද අඩුවනු ඇති බව ඔහු පැවසීය.

පාර්සල් වෙනුවට කෑම පෙට්ටි භාවිතයට හුරුවීම සහ ආහාර එතීම සඳහා කෙසෙල්, නෙළුම් කොළ වැනි ස්වාභාවික දෑ භාවිත කිරීම මගින් ලන්ච් ෂිට් ගැටලුවට විසඳුම් සෙවිය හැකි බව මධ්‍යම පරිසර අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ජේ.එම්.යු ඉන්ද්‍රරත්න වැඩිදුරටත් සඳහන් කළේය.

Comments

Popular posts from this blog

තලතාගෙන් මහින්දට සැර පිළිතුරක්

නුදුරේ කොළඹ අලුත්වෙයි