හෙට වර්ජනය ස්ථිරයි

The strike tomorrow is Confirmed 




දිවයින පුරා රෝහල්වල හෙට(25)  පෙරවරු 08 සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇති සංකේත වැඩවර්ජනය අනිවාර්යයෙන්ම සිදුකරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.


එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා කියා සිටියේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් මහතා පැහැරගෙන යාමට තැත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම වර්ජනය දියත් කරන බවයි. 

මේ අතර, සයිටම් විරෝධී ජනපවුර සංවිධානය මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට දිවයිනේ ප්‍රධාන නගරවල අත්පත්‍රිකා බෙදාහැරීමේ ව්‍යාපාරයක අද (24) උදෑසන නිරත වුණි.


මේ අතර රයන් ජයලත් ශිෂ්‍යයාගේ ප්‍රශ්නය ඉදිරියට දමා වෛද්‍ය වැඩ වර්ජන කිරීමට යාම දේශපාලන කටයුත්තක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පවසයි. අද(24) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

එම ශිෂ්‍යයාට එරෙහිව අධිකරණ කටයුතු රාශියක් ඇති බවට පොලීසිය සඳහන් කර තිබියදීත්, එම ශිෂ්‍යයාගේ ප්‍රශ්නය ඉදිරියට දමා වෛද්‍ය සංගමය වැඩවර්ජන ක්‍රියා සිදුකිරීමට යන බවද ඔහු පවසා සිටියේය. එය සුදුසු ක්‍රියාවක් නොවන බවද ඒ මහතා කියා සිටියේය.

එමෙන්ම වර්තමාන ආණ්ඩුව කිසිවිටෙකත් මර්දනය කිරීමට නොයන බවද අද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
පසුගිය දින සෞඛ්‍ය අමාත්‍යාංශයට බලෙන් කඩා වැදී රුපියල් ලක්ෂ අටකට අධික පොදු දේපළවලට හානි කිරීමේ සිද්ධියකට වරෙන්තු මත සිටින වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැදවුම්කරු රයන් ජයලත් අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලිසියේ රාජකාරියට බාධා කළ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බව කොළඹ අපරාධ කොට්ඨාසය අද (24) අධිකරණයට දැන්වීය.
ඉකුත් 20 වැනි දා කොළඹ පැවැති මාධ්‍ය හමුවක් අතරතුර සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේදී එය වළක්වා බාධා කළ පුද්ගලයින් හඳුනා ගැනීමට රූපවාහිනී නාලිකාවල ප්‍රචාරය වූ වීඩියෝ දර්ශන අවශ්‍ය බව පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.
ඒ අනුව මෙම සිද්ධියට අදාල වීඩියෝ දර්ශන ඇතුළත් සංයුක්ත තැටි පරීක්ෂණ සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත ලබා දෙන ලෙසට ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර රූපවාහිනී නාලිකා හයකට නියෝග කරන ලදී.
මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට යෑමේ දී පොලිසිය භාවිත කළේ පොලිස් දෙපාර්තමේන්තුවට අයත් වෑන් රථයක් බව පොලිසිය අධිකරණයට දන්වන ලදී.

Comments

Popular posts from this blog

තලතාගෙන් මහින්දට සැර පිළිතුරක්

නුදුරේ කොළඹ අලුත්වෙයි