මීතොටමුල්ලට මාස තුනයි දැන් ප්‍රශ්නය අමතකයි



Three months to Meethotamulla, the problem is forgotten



මීතොටමුල්ල කුණු කන්ද කඩාවැටී ජීවිත 32ක් අහිමිවීමේ ඛේදවාචකයට අද දිනට (ජූලි 14) මාස තුනක් ගතවී තිබේ. නිවාස 60ක් සම්පුර්ණයෙන් විනාශ වී හා තවත් නිවාස 22ක් අර්ධ හානියට ලක්කළ එම සිද්ධියෙන් අනතුරුව තවත් පවුල් ගණනාවකට එම ප්‍රදේශය හැර යාමට සිදුවූයේ එය අවදානම් කලාපයක් ලෙස නම් කිරීම හේතුවෙනි.

අනතුර සිදුවූ දිනවල අතිශය කාර්යබහුල වූ කුණු කන්ද සමීප ප්‍රදේශයේ ඇත්තේ පාලුවට ගිය ස්වභාවයකි.
"දැන් මෙතන කුණු දාන්නේ නම් නැහැ, ඒවගේම අපෙවත් කුණු එකතුකරන්නේ නැහැ, දැන් පුච්චන්නේ ඒකයි" කුණු කන්දට ආසන්න නිවසක් සමීපයේ කසළ පුළුස්සමින් සිටි ප්‍රදේශවාසියකු තත්ත්වය පැහැදිලි කළේය.

කුණු කන්දට එරෙහි ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු කීර්තිරත්න පෙරේරා ප්‍රදේශවාසීන් පිරිසක් සමග කුණු කන්ද අසළට පැමිණියේ අප එන බවට කළ දැනුම්දීමෙනි. කලක් එක්ව සිටි අසල්වාසීහු අද වෙන් වෙන්ව දිවි ගෙවති. ඇතැමුන් රජය දුන් මහල් නිවාසවලත් තවත් අය කුලී නිවාසවලත් ජීවත්වන්නේ සිය පවුලේ සාමාජිකයන් වියෝවීමේ වේදනාවද සමගිනි.

"අපිට දීලා තියෙන නිවාස තක්සේරුව මදි, බලන්න මේ ගෙදරට ලක්ෂ 26යි දෙනවා කියන්නේ, කියන්න මට මේ වගේ ගෙයක් ඒ ගානට ගන්න පුළුවන්ද, කාමර 4යි බාත් රුම් 2යි, ටයිල් කරපු ගෙයක්" එම් රේණුකා ප්‍රශ්න කළේය. අවදානම් කලාපය හේතුවෙන් තම පවුල මෙම ප්‍රදේශයෙන් ඉවත්කළ බව පවසන ඇය හොදින් තිබු නිවසේ සියලු දොරවල්, උළුවහු, නානකාමර උපාංග ආදී සියල්ල මේවනවිට සොරු ගෙන ගොස් ඇති බව ඇය පෙන්වා දුන්නාය.
Image copyright
"මගේ ගෙදරට දීලා තියෙන්නේ ලක්ෂ 30ක්, බලන්න කාමර 3ක් තියෙනවා, ඉඩමට පස්සේ දෙනවලු, ඒ වුනාට මේ ලක්ෂ 30න් මේවගේ ගෙයක් හදන්න පුළුවන්ද" තවත් කාන්තාවක් තම නිවෙස පෙන්වමින් සඳහන් කළාය.
මෙම ඛේදවාචකය සිදුවුයේ රටේම කුණු තමන් පිට පැටවූ නිසා මිස ස්වභාවික විපතක් හෝ තම වරදකින් නොවන බව අද බලධාරීන්ට හා රටේ බහුතර ජනතාවට අමතකවී ඇති බවද ඔවුහු චෝදනා කරති.

"ඇත්තටම දීල තියෙන නිවාස තක්සේරු ගණන් හොදටම මදි, මම දැක්ක ජනාධිපතිතුමා කියල තියෙනවා උමා ඔය නිසා දේපළ හානිවූ අයට සුපර් ලාක් ක්‍රමයට වන්දි දෙනවා කියලා, ඒ කියන්නේ දැන් වටිනාකමට වඩා දෙනවා කියලා, ඉතින් අපිට දෙන්න ඕනේ ඩබල් සුපර් ලාක් එහෙනම්" පුවත්පතක් පෙන්වමින් කුණු කන්දට එරෙහි ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු කීර්තිරත්න පෙරේරා එසේ පැවසීය.

"මං එහෙම කියන්නේ මෙතන වුනේ සංවර්ධන වැඩක් නෙවෙයි, ස්වභාවික විපතක් නෙවෙයි, අත්වැරදීමකුත් නෙවෙයි, අපි ඉන්න තැනට එපා කියද්දී කුණු දාල කරපු මිනීමැරුමක් මේක"
කීර්තිරත්න පෙරේරාගේ බිරිඳ ඇතුළු පවුලේ සාමාජිකයන් 3 දෙනෙකු කුණු කන්දට යටවී මිය ගිය අතර ඔවුන් ඇතුළු අනිකුත් මිය ගිය අයට රජයෙන් රුපියල් මිලියනය බැගින් වන්දියක් හිමිවිය.
රජයට දැඩි බලපෑම් කර විශේෂ කැබිනට් අනුමැතියක් හරහා එම වන්දි මුදල් ලබාගත් බව මියගිය අයගේ පවුලේ ඥාතීන්ට වන්දි පිරිනමමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් කියා සිටියේය.

රජයේ නීති රීතිවලට අනුව දිය හැකි උපරිම තක්සේරු වටිනාකම් ලබාදී ඇති බව පැවසූ මන්ත්‍රීවරයා තක්සේරු තවත් වැඩි කළ හැකිදැයි සොයා බලන බවද ප්‍රකාශ කළේය.

තම සැමියාට හිමි වන්දි මුදල ලබාගැනීමට පැමිණ සිටි අටුළුගමගේ දයාවතී පැවසුවේ තමන්ට වන්දි මුදලට වඩා මෙම සිදුවීමට වගකිවයුතු අයට දඬුවම් දීම වැදගත් බවය.
"කෝටි ගාණක් දුන්නත් වැඩක් නැහැ මේ අයට දඬුවම් දුන්නේ නැත්නම්, කි දවසක් අපි උද්ඝෝෂණය කළාද, කොළඹ නගර සභාවට ගියාම කුණු ගෑණු කියල අපිව එළවාගත්තේ"
ගොඩනැගිල්ලක් කඩාවැටුණු අවස්ථාවකදී පවා නොසැළකිලිමත්ව කටයුතු කළ බව පවසමින් අයිතිකරුවන්ට එරෙහිව ක්‍රියාකරන ආණ්ඩුව මේ සිද්ධියේ වගකිවයුත්තන්ට දඬුවම් නොදෙන්නේ මන්දැයි බීබීසී සිංහල සේවය පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් ගෙන් විමසු විට ඔහු පැවසුවේ ජනාධිපති කොමිසමක් හරහා ඒ ගැන පරීක්ෂණයක් පැවැත්වෙන බවය.
"මේ නායයාම ස්වභාවික උවදුරක්වත් සාලාව වගේ අත්වැරදීමක්වත් නෙවෙයි. ඉතා පැහැදිලිවම මේ ආණ්ඩු දෙකේම දේශපාලනඥයන්ගේ සහ නිලධාරීන්ගේ තීන්දු තීරණ ගැනීමේ ප්‍රමාදය නිසා තමයි මේ අනතුර වුනේ, මේ ගැන වගකිවයුත්තන්ට දඬුවම් දිය යුතුයි" ඔහු ප්‍රකාශ කළේය.

Comments

Popular posts from this blog

තලතාගෙන් මහින්දට සැර පිළිතුරක්

අවසන් මොහොතේ ජනපති ගිවිසුම සංශෝධනය කරයි

නුදුරේ කොළඹ අලුත්වෙයි