Rajapaksas are not thieves; Gota arrested within a month?


රාජපක්ෂලා හොරු නෙවෙයි

මසක් තුළ ගෝඨා අත්අඩංගුවට?



තමන් විසින් කළ එකම දූෂණය එල්.ටී.ටී.ඊ සංවිධානය තුරන් කිරීම බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

එම ක්‍රියාව නිසා හිරේ දැමිය යුතු නම් එය කිරීමේ ගැටළුවක් නොමැති බව හිටපු ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේ ඊයේ (07) මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාව වෙත පැමිණ දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමෙන් අනතුරුව අස්ගිරි පාර්ශවයේ මහනායක අති පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍යයට ප්‍රකාශයක් සිදුකරමිනි.


අනතුරුව මල්වතු පාර්ශවයේ මහානායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් බැහැදුටු ඔහු මල්වතු පාර්ශවයේ අනුනාහිමිවරුන් වන පූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමියන්, පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමි බැහැදැක තොරතුරු කතා බහ කළ බව ද පවසයි.

මෙහිදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලය ප්‍රතිචාර දක්වමින් රාජපක්ෂ මහතා වැඩිදුරටත් කියා සිටියේ යුද්ධය කරනු ලැබුවේ පසුගිය වසර පහ තුළ පමණක් නොවන බව හා හිටපු සෑම ජනාධිපතිවරයෙකුම පාහේ ඒ සඳහා ක්‍රියා මාර්ග ගත් බවයි.

එහෙත් යුද්ධය නිමා කරනු ලැබුවේ පසු ගිය ජනාධිපතිවරයාගේ කාලයේ බවත්, එය අවසන් කිරීම පමණක් තමන්  සිදුකළ බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේය.

රාජපක්ෂලා මේ රට හොරා කෑවේ නැති බවත්, මේ රට බේරාගනු ලැබුවේ රාජපක්ෂලා බවත් සිහිපත් කළ ඔහු රටට සේවය කරනු ලැබුවේ ජීවිත පරිත්‍යාගයෙන් බව අවධාරණය කළේය.

තමන්ට යුද්ධය නිමා කරන්නට හැකිවූයේ එලෙස කැපවීමෙන් ක්‍රියා කිරීමෙන් බව කියා සිටි ඔහු වැඩ බැරි අයට මොනවා දුන්නත් කිසිවක් කර කියා ගත නොහැකි බැවින් චෝදනා කරමින් සිටීම හැර වෙනත් කිසිවක් ඔවුනට කළ නොහැකි බවත් සඳහන් කළේය.

තමන් සාමාන්‍යයෙන් භික්ෂුන් වහන්සේලා සමග දේශපාලනය කතා නොකරන බවත්, එසේ වුවද අද මහනුවරට පැමිණියේ තමාට සිදුවන අසාධාරණය සම්බන්ධයෙන් මහනාහිමිවරුන් දැනුවත් කිරීමට බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේය.

මහින්ද අමරවීර අමාත්‍යවරයා විසින් මෑතකදී ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් පිරිසක් හමුවේ මාසයක් ඇතුළත තමන් අත්අඩංගුවට ගන්නා බවට ප්‍රකාශයක් සිදුකර ඇති බවත්, එසේ කිරීමට හැකියාවක් නොමැති බවත් ඔහු පෙන්වා දුන්නේය.

මේ රටේ නඩු විමසනු ලබන්නේත්, පරීක්ෂණ සිදුකරන්නේත්, තීන්දු ප්‍රකාශයට පත්කරන්නේත් මහින්ද අමරවීරලා වැන්නන් නම් නීතියේ කිසිදු සාධාරණත්වයක් දක්නට නොමැති බව රාජපක්ෂ මහතා සඳහන් කළේය.

මේ අතර දේශපාලන ක්ෂේත්‍රයට පිවිසෙන්නේදැයි මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටියේ ජනතාව එවැන්නක් බලාපොරොත්තු වීම නිසාම මහින්ද අමරවීරලා වැන්නන් බියට පත්වී මෙලෙස තමන් මාසයක් ඇතුළත අත්අඩංගුවට ගන්නා බවට ප්‍රකාශ කරන බවයි.

Comments

Popular posts from this blog

දිවා රාත්‍රී ටෙස්ට් තරගයට ශ්‍රී ලංකාව සූදානනම්

ඔසප් වීමේ වරදට ජීවිතයෙන් වන්දියක්