ද්විත්ව පුරවැසි මන්ත්‍රීවරු අනතුරේ


Dual citizen MP'S in danger

ද්විත්ව පුරවැසිභාවය දැරීම හේතුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුසු තැනැත්තියක් බව අභියාචනාධිකරණය තීන්දු කිරීමෙන් අනතුරුව ද්විත්ව පුරවැසිභාවය හිමි තවත් මන්ත්‍රීවරු රැසක් සිටින බවට ඒකාබද්ධ විපක්ෂය චෝදනා කළේය.

ඒ පිළිබඳව ඉදිරියේදී කරුණු හෙළි කරන බවට ද ඒකාබද්ධ විපක්ෂය පැවසීය.
කෙසේ නමුත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ද්විත්ව පුරවැසිභාවය හිමි මන්ත්‍රීවරුන්/මන්ත්‍රීවරියන් සිටින්නේ එක් අයෙකු පමණක් බව ආගමන විගමන පාලකවරයා තහවුරු කර තිබේ.
ඒ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා සමන්මලී කුමාරසිංහ බව ආගමන විගමන පාලක එම්එන් රණසිංහ පවසයි.
ඔහු ඒ බව අනාවරණය කර තිබෙන්නේ, තොරතුරු දැනගැනීමේ පනත යොදාගනිමින් මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායමක් වන පැෆරල් ආයතනය කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමිනි.
සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නම්, උපන් දිනයන් හා ජාතික හැඳුනුම්පත් අංකයන් සහිත නාම ලේඛනයක් පාර්ලිමේන්තු මහා ලේකම්වරයාගෙන් ගෙන්වා ගෙන පරීක්ෂාවට ලක් කළ බව ද ආගමන විගමන පාලකවරයා පැෆරල් ආයතනය වෙත ලබා දී ඇති ලිඛිත පිළිතුරේ සඳහන් වේ.
එම ලේඛනයේ සඳහන් තොරතුරු ආගමන විගමන දෙපාර්තුමේන්තුවේ ද්විත්ව පුරවැසිභාවය ලබාගත් පුද්ගලයන්ගේ තොරතුරු අන්තර්ගත පරිගණක පද්ධතියට ඇතුළත් කොට පරීක්ෂා කළ බවත්, එයින්ද නොනැවතී පරිගණක පද්ධතිය නිර්මාණය කිරීමට පෙර ද්විත්ව පුරවැසිභාවය ලබාගත් පුද්ගලයින්ගේ තොරතුරු ඇතුලත් ලේඛන ද වැඩිදුරටත් පරීක්ෂා කිරීමට කටයුතු කළ බවත් ආගමන විගමන පාලකවරයා පවසයි.
ඒ අනුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අනෙක් මන්ත්‍රීවරුන් 224 දෙනා සඳහා ද්විත්ව පුරවැසි සහතිකයන් නිකුත් කොට නැතැයි සනාථ කළ හැකි බව ද ආගමන විගමන පාලකවරයා පැෆරල් ආයතනයට ලබාදුන් පිළිතුරේ සඳහන් වේ.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වෙනි සංශෝධනය ප්‍රකාර ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයෙකුට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරිය නොහැකිය.
ඒ අනුව ගීතා කුමාරසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුසු තැනැත්තියක් බව අධිකරණය දුන් තීන්දුවට එරෙහිව ඇය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කර තිබේ.
එහි තීන්දුව ලැබෙන තුරු ඇය තවදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස සේවය කරයි.
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ දෙදෙනාටම ඇමෙරිකා එක්සත් ජනපදයේ ද පුරවැසිභාවය හිමි නමුත් ඔවුහු පාර්ලිමේන්තුව නියෝජනය නොකරති.
ඒ පිළිබඳව මීට ඉහතදී බීබීසී සිංහල සේවය කළ විමසීමකට පිළිතුරු දෙමින් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ, තමන් සතු ඇමරිකානු පුරවැසිභාවය අතහැරීමට කිසිසේත්ම සුදානම් නොමැති බව සඳහන් කළේය.
මේ අතර ද්විත්ව පුරවැසිභාවය හිමි නියෝජ්‍ය අගමැතිවරයා ඇතුළු මන්ත්‍රීවරු හත් දෙනෙකු සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාවේ ද ආන්දෝලනයක් මතු වී තිබේ.
ඒ පිළිබඳව මාස ගණනක් මුළුල්ලේ පැවති දේශපාලන වාද විවාදවලින් අනතුරුව ඒ සම්බන්ධයෙන් ලබන ඔක්තෝබර් මාසයේ අධිකරණ විභාගයක් පැවැත්වීමට නියමිතය.
අදාළ මන්ත්‍රීවරුන් පිරිස මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වූ අවස්ථාවේ ද්විත්ව පුරවැසියන්ව සිටියේ නම් ඔවුන් මන්ත්‍රී පදවි දැරීමට සුදුස්සන් ද යන්න අධිකරණය විසින් තීන්දු කරනු ඇතැයි අපේක්ෂිතය.
ඕස්ට්‍රේලියාවේ නියෝජ්‍ය අගමැති බානබි ජොයිස් (Barnaby Joyce) පසුගිය සතිය වන තුරුම නවසීලන්තයේ ද පුරවැසියකු වූ අතර, ඔහුට මන්ත්‍රී පදවිය අහිමිවුවහොත් අගමැති මැල්කම් ටර්න්බුල් ගේ ආණ්ඩුව අර්බුදයකට මුහුණ පෑමට ඉඩ තිබේ.

අගමැතිවරයාට පාර්ලිමේන්තුවේ බලය හිමි වී තිබෙන්නේ එක් බහුතර ආසනයකිනි.

Comments

Popular posts from this blog

තලතාගෙන් මහින්දට සැර පිළිතුරක්

නුදුරේ කොළඹ අලුත්වෙයි

ශ්‍රී ලංකාවට උදව් කරන්න සූදානම් - කෝලි