ක්‍රිකට් ගැටළුවට දුන් විසදුම කුණුකූඩේ


Collapse of Srilanka cricket


ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ක්‍රීඩාව ප්‍රපාතයට තල්ලුවී ඇත්තේ ක්‍රීඩකයන්ගේ වරදට වඩා මෙරට ක්‍රිකට්‌ සැලැස්‌මේ තිබෙන දුර්වලතාව නිසා බවත් එය විසඳා නොගෙන ඉදිරියක්‌ නොමැති බවත් සිදත් වෙත්තමුණි මහතා පැවසීය.

තිලංග සුමතිපාල මහතා ක්‍රිකට්‌ නිලවරණයෙන් පත්වීමට පෙර ක්‍රිකට්‌ අතුරු කමිටු සභාපතිවරයකු ලෙස කටයුතු කළ සිදත් වෙත්තමුණි මහතා එහිදී නව ක්‍රිකට්‌ සැලැස්‌මක්‌ සකස්‌ කරන ලදී. ඒ සම්බන්ධයෙන් ඔහු මෙසේ පැවසීය.
"මම අතුරු කමිටු සභාපතිවරයා ලෙස ඉන්න කාලයේ නව ක්‍රිකට්‌ සැලැස්‌මක්‌ හැදුවා. ඒ සැලැස්‌ම මම ක්‍රීඩා ඇමැතිවරයාට සහ අගමැතිවරයාටත් භාර දුන්නා. ඒ දෙන්නම ඒකට කැමැති වුණා. අගමැතිවරයා ඉක්‌මනින්ම ඒක ක්‍රියාත්මක කරන්න අනුමැතියත් ලබා දුන්නා. නමුත් ඒ සැලැස්‌මට දැන් මොකක්‌ වෙලාද දන්නෙ නැහැ. මේ විදිහට අපේ ක්‍රිකට්‌ ගියොත් වෙන්නෙ මොකක්‌ද කියල අපි මුල ඉඳලම කිව්වා. දැන් ඒක පෙනෙන්න තියෙනවා."
ලෝකයේ වැඩිම ඡන්ද සංඛ්‍යාවක්‌ ඇති ක්‍රිකට්‌ නිලවරණය පවත්වන්නේ ශ්‍රී ලංකාවේය. එය වෙනස්‌ කිරීම සඳහා වෙත්තමුණි මහතා ගත් ක්‍රියා මාර්ග මෙසේ හෙළි දරව් කළේය. "අද බලන්න බිලියන 1.2 ක්‌ ඉන්න ඉන්දියාවේ ක්‍රිකට්‌ නිලවරණයට තියෙන්නෙ ඡන්ද 46 යි. ඒක 30 ට අඩු කරන්න කියල ලෝධා කමිටුව නියෝගයක්‌ ගෙනාවා. ඒ අනූව ඉන්දියානු ක්‍රිකට්‌ ආයතනය කාටවත් ඕන විදිහට නටවන්න බැරි ආකාරයට ලෝධා කමිටුව තීරණයක්‌ ලබා දීල තියෙනවා. ඒ නිසා ඉන්දියාවේ ක්‍රිකට්‌ ඉහළ ගියා. අපේ රටේ ක්‍රිකට්‌ නිලවරණයට ඡන්ද 147 ක්‌ විතර තියෙනවා. ඉතිං දේශපාලඥයකුට ඇරෙන්න මේ නිලවරණයෙන් කාටවත් ජය ගන්න බැහැ. ඒ ඡන්ද සංඛ්‍යාව තියෙන හැමදෙනාම සතුටු කරල ක්‍රිකට්‌ හදන්න බැහැ."
මෑතකදි ටෙස්‌ට්‌ වරම් ලැබු අයර්ලන්තය සමග මෙන්ම දකුණු අප්‍රිකානු ක්‍රිකට්‌ ආයතන සභාපතිවරුන් සමගද සාකච්ඡා කරමින් සිදත් වෙත්තමුණි මහතා මෙරට ප්‍රධාන නීතිඥයකු වන ප්‍රසන්න ජයවර්ධන මහතා සමග එක්‌ව නව ක්‍රිකට්‌ සැලැස්‌මක්‌ සකසා තිබේ. ඒ සඳහා මහේල ජයවර්ධන ඇතුළු මෙරට සුවිශේෂී ක්‍රිකට්‌ ක්‍රීඩකයන්ද අත් ඔසවා අදහස්‌ ලබාදී ඇත.
"අපි හදපු ක්‍රිකට්‌ ව්‍යවස්‌ථාව අනුව ඡන්ද තියෙන්නෙ 57 යි. ඒක තවත් අඩු කරන්න අපි සැලසුම් කරල තිබ්බා. අයි.සී.සී. යට අපි ඒ සැලැස්‌ම දුන්නහම ඒ අය ඉහළින්ම අනුමත කළා. නමුත් මේ තියෙන පරණ සැලැස්‌ම එක්‌ක ක්‍රිකට්‌ දුවන්න බැහැ. මටත් දැන් ක්‍රිකට්‌ එපා වෙලා තියෙන්නෙ. ඒකට ක්‍රීඩකයන්ට දොස්‌ කියල වැඩක්‌ නැහැ. ඔවුන් මානසිකව වැටිලා ඉන්නෙ."
ශ්‍රී ලංකා ටෙස්‌ට්‌ නායක දිනේෂ් චන්දිමාල්ව එක්‌දින කණ්‌ඩායමෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන්ද සිදත් වෙත්තමුණි මහතා අදහස්‌ දක්‌වා සිටියේය, "මගේ නම් පළමු කැමැත්ත මෙන්ම තේරීම මේ එක්‌දින කණ්‌ඩායමේ දිනේෂ් චන්දිමාල්ට. ඔහු අපේ රටේ අනාගතය වෙනුවෙන් හොඳ ක්‍රීඩකයෙක්‌. නමුත් ඔහුව දැන් එක්‌දින කණ්‌ඩායමෙන් කපලා දාලා තියෙනවා. පන්දුවාර පනහක්‌ බැට්‌ කරන්න පුළුවන් කණ්‌ඩායමක්‌ ඉන්න ඕන. මට හිතා ගන්න බැහැ චන්දිමාල් වගේ ක්‍රීඩකයෙක්‌ව අයින් කරන්නෙ මොකටද කියලා. දැන් ඉන්න කණ්‌ඩායමේ මගේ පළමු තීරණය චන්දිමාල් ඉන්න ඕන කියන එකයි."
පළමු පෙළ ක්‍රීඩා සමාජ 24 ක්‌ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා දේශීය ක්‍රිකට්‌ තරගාවලියේ තියෙන තරගකාරීත්වය අඩු බැවින් ක්‍රීඩකයකුට ජාතික කණ්‌ඩායමේ අත්දැකීම් ලබා ගැනීමට වසරක්‌ හෝ දෙකක්‌ ගතවන බවත් එසේ අත්දැකීම් ලබා තිබෙන ක්‍රීඩකයන්ව කපා දැමීමත් වෙත්තමුණි මහතා කලකිරීමකින් යුතුව අදහස්‌ දක්‌වා සිටියේය.
"මම අතුරු කමිටු හතක විතර වැඩ කළා. නමුත් මේ රටේ ක්‍රිකට්‌ හදන්න මට අතුරු කමිටුවට එන්න කිසිම ආශාවක්‌ නැහැ. ආයිත් මට ක්‍රිකට්‌ හදන්න ආරාධනාවක්‌ ආවොත් මම භාර ගන්නෙ මේ ව්‍යවස්‌ථාව වෙනස්‌ කරන්න දුන්නොත් විතරයි. ඒ ඇරෙන්න මම පැත්ත පළාතෙ ක්‍රිකට්‌ ආයතනයට එන්නෙ නැහැ. කොච්චර අතුරු කමිටු පත් කළත් මේ ව්‍යවස්‌ථාව වෙනස්‌ කරන්නෙ නැතිව දුවන එක බොරු වැඩක්‌. ඉස්‌සෙල්ලම කරන්න ඕන ඒක. දැන් බලන්න ලෝකයේ කිසිම රටක නැති ඡන්ද සංඛ්‍යාවක්‌ අපේ තියෙනවා." 

Comments

Popular posts from this blog

තලතාගෙන් මහින්දට සැර පිළිතුරක්

අවසන් මොහොතේ ජනපති ගිවිසුම සංශෝධනය කරයි

නුදුරේ කොළඹ අලුත්වෙයි